දෙවියන් වෙනුවෙන් සිඳු කරන පුද පුජා හා ක්‍රීඩා ද අපගේ අලුත් අවුරුදු චාරිත්‍ර වල අඩංගු වෙලා තියෙනවා. ඔලිඳ කෙළිය, පංච දැමීම, අං කෙළිය පොර පොල් ගැසීම ආදී වූ බොහෝ අවුරුදු ක්‍රීඩා දෙවියන් උදෙසා කරන ක්‍රීඩා වේ. මේ හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ආභාෂයත් එක්ක. ඒත් අද වෙනකොට මේ කැවිලි පෙවිලි වලට, ක්‍රීඩා වලට අපගේ දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් එකතු වෙලා තියනවා. ඒ විදිහට තමයි කොන්ඩ කැවුම්, මුං කැවුම් වගේ කැවිලි අපේ අවුරුදු කෑම මේසයට එකතු වෙලා තියෙන්නේ. කොහොම උනත් අපේ මේ අවුරුදු කෑම මේසය විචිත්‍රවත් වෙන්න අපේ කැවිලි ජාති වගේම ආගන්තුක රට වලින් ආභාෂය ලබා ගත් කැවිලි පෙවිලිත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු කෑම මේසය මේ වගේ විචිත්‍රවත්ව වගේම බොහොම රසවත්ව වෙන්නේ. අවුරුදු කාලයට රසම රස කැවිලි පෙවිලි හදනවාත් එක්කම ටිකක් කරදරකාරී අමුත්තෝ පිරිසකුත් අපේ ගෙවල් වලට එන්න පටන් ගන්නවා. ඒ තමයි කොඳුරුවෝ. එයාල අවුරුදු කාලයට ටිකක් වැඩිපුර එහෙ මෙහේ සැරිසරන්න පටන්ගන්නවා. ඒ නිසාම අපටත් ටිකක් එයාලගෙන් සිදුවන කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මේ කෝඳුරු කරදරෙන් බේරෙන්න අපේ ගැමි ගෙවල් වල බොහොම අපූරු උපක්‍රමයක් යොදාගන්නවා. ඒ තමයි ගෙදරම හදන පැණි බේරෙන කොන්ඩ කැවුමක් ගෙදර පරාලේ හෝ බාල්කෙක එල්ලලා තියන එක. ඒකෙන් වෙන්නේ අර ගේ ඇතුලේ ඉන්න සේරම කොඳුරුවෝ අර පරාලේ එල්ලපු කොන්ඩ කැවුමට ආකර්ෂණය වෙන එක. ඒ නිසාම අපට කොඳුරුවන්ගෙන් කිසි කරදරයක් නැතුව බේරිලා ඉන්න පුළුවන් වෙනවා. අන්න එහෙමයි අපේ පැරැන්නෝ හරිම උපක්‍රමශීලිව ඒ වගේ ප්‍රශ්න විසඳුවේ. විශේෂයෙන්ම අපි අවුරුදු සමයේදී චාරිත්‍ර හා වාරිත්‍ර කියලා දෙයක් අනුගමනය කරනවා. චාරිත්‍ර කියලා කියන්නේ අපි අනුගමනය කරන්න ඕනේ හොඳ දේවල්. ඒ වගේම වාරිත්‍ර කියල කියන්නේ අපි අනුගමනය නොකළ යුතු එහෙමත් නැත්නම් අත්හල යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර දෙක අපි පිලිපැදීමෙන් අපේ ජීවිතයට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් වෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර අපේ පැරැන්නන් විසින් මෙතුවක් කාලයක් රැකගෙන ආපු නිසා අදටත් මින් ඉදිරියටත් සිංහල අවුරුදු කාලයක් අපට ගත කිරීමට අවස්ථාව උදා වෙලා තියනවා.