සූර්ය මංගල්‍යය කියලා අපි හඳුන්වන මේ කාලයේදී ඇත්තටම සූර්යයා ලංකාව ආසන්නයෙන් ගමන් කරනවා. මොහොතකට මේ සිංහල අවුරුද්ද අමතක කළොත්, සාමාන්‍ය විශ්වීය සංසිද්ධිය තමයි පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන එක. මේ සම්පූර්ණ එක වටයක් ඒ විදියට කරකැවෙන්න ආසන්න වශයෙන් දින 365 ක් ගත වෙනවා. මේ යන ගමනේ දී පෘථිවියෙහි භ්‍රමණය වගේම, අංශක 23 ක විතර තියෙන ඇලයත් එක්ක සූර්යයාගේ විවිධ අවස්ථාවන් වලට අපි නිරාවරණය වෙනවා. ලංකාව වගේ රටක් සමකයට ඉතා ආසන්න රටක් ලෙස, වෙන කිසිදු රටකට වඩා ළඟින් සූර්යයාට නිරාවරණය වෙනවා. එතකොට සූර්යයා සමකය පසුකරමින් පෘථිවියේ උතුරෙන් තියෙන කර්කටක නිවර්තනයටත් දකුණෙන් තියෙන මකර නිවර්තනයටත් සමීප වෙන කොට මේ චලනය එහෙමත් නැත්නම් සූර්යයාගේ සමීප වීම ලංකාවේ ඉන්න අපිට, අන් කාටත් වඩා හොඳින්ම දැනෙනවා. ඒ නිසා තමයි සමීප වීම, එහෙමත් නැත්නම් සූර්ය මංගල්ය දෙකක් ලංකාවට නිරාවරණය වෙන්නේ. කොහොම වුනත් මේ දෙකම අතරින් හරියටම අපි අපේ අලුත් අවුරුදු සූර්ය මංගල ලෙස තෝරාගන්නේ මොකක්ද කියන එක හොයලා බලන එක හරිම වැදගත්. ලංකාව තිබෙන්නේ සමකයට අංශක 6.5 ක් විතර උඩින් නිසා අපි ඉහළින් තියෙන කර්කටක නිවර්තනයට ටිකක් ඉක්මනින් ළඟා වෙනවා. නමුත් සාපේක්ෂව මකර නිවර්තනයට ළඟාවීමට තරමක් වැඩි කාලයක් ගත වෙනවා. කොටින්ම කිව්වොත් මේ දෙක කාල දෙකක්. යල සහ මහ කන්න කියලා ඉස්සර ඉඳලා අපි හැඳින්වුයේ මෙන්න මේ කාල දෙක. මේ කන්න දෙකක් ඇතුළුව වසරකට දෙවතාවක් අපිට මේ සැමරීම කරන්න බැරි නිසාත්, මහකන්නයේදී වඩා වැඩි කාලයක් අපේ සූර්යයා සමග ගෙවෙන නිසාත් සහ ඒ නිසාම වැඩි අස්වැන්නක් ලැබෙන නිසාත්, මහකන්නයේදී, ඒ කියන්නේ අප්‍රේල් වලදී අපි මෙලෙසින් නව අවුරුදු සූර්ය මංගල්‍යය සමරනවා