අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ නව සඳ බැලීමෙන්. චාරිත්‍ර, ස්නානයෙන් අවසන් වෙනවා. ස්නානයට ප්‍රථම නානු ගා හිසතෙල් ගෑම සිදුකරනවා. සිංහල ජෝතිශ්‍යවේදීන් මිනිස් ශරීරයේ මුල කොටස ලෙස හඳුන්වන්නේ හිසයි. ගසක මුලට සාත්තු කළ විට ගස වැඩෙනවා වගේ හිසට සාත්තු කළ විට ඒ සාත්තුව මුළු ශරීරයටම සුවයක් ගෙන දෙන බවයි විශ්වාස කරන්නේ. ජ්‍යොතිෂ මත අනුව ග්‍රහයන්ගෙන් ශරීරයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙම චාරිත්‍රය සම්පාදනය කර ඇති බව පැහැදිලි ය. ඔබ දැකලා ඇති හිස තෙල් ගෑමේදී හිසට ඉහළින් එක් පත්‍ර වර්ගයක් සහ පයට පහළින් තවත් පත්‍ර වර්ගයක් යොදා ගන්නා බව. ජ්‍යොතිෂයට අනුව හිසට හා පයට තබනු ලබන කොළ වර්ග තීරණය වේ. හිස තෙල් ගාන දිනයට ප්‍රථම දිනයට අදාළ ග්‍රහයාට හිමි කොළ වර්ගය පාදයට තබනු ලබන අතර හිසට තබන්නේ හිස තෙල් ගාන දිනයට අදාළ ග්‍රහයාට හිමි කොළ වර්ගයයි. මෙලෙස හිසට ඉහළින් සහ පයට පහළින් පත්‍ර තබා බලාපොරොත්තු වන්නේ ශරීරයට අහිතකර ග්‍රහ කිරණ ඇතුළු වීම වැලැක්වීමයි. සෙ‍ෟභාග්‍යය, ප්‍රීතිය, බලය වර්ධනය, ග්‍රහ අපල දුරු කිරීම හා බාධක අවම කිරීම හිස තෙල් ගැල්වීමෙන් අපේක්ෂා කරයි.