මේ උදාවෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයයි. මෙහිදී ප්‍රධාන වශයෙන් එයට බැඳුනු අලුත් අවුරුදු චාරිත්‍ර නැතිනම් අලුත් අවුරුදු සංස්කෘතියක් අපිට අතීතයේ සිට තිබිලා තියෙනවා. එහිදී අලුත් අවුරුදු චාරිත්‍ර අපිට පැවතගෙන එන්නේ අපේ අල්ලපු රට වන ඉන්දියාවේ හින්දු ආගමත් එක්කමය. කොහොමද අලුත් අවුරුද්දට හින්දු ආගම සම්බන්ධ වන්නේ. අපි කොතරම් අපේ බුද්ධාගම සමග ලැදි උනත්, අපේ ආගමට අපි කෙතරම් ගෞරව කරත්, අපේ හිත් වල දේව ඇදහිලි පිළිබඳව යම් විශ්වාසයක් යම් නැඹුරුවක් තියෙනව. ඒ අතර ශිව දෙවියන්, පත්තිනි දෙවියන්, කතරගම දෙවියන්, සමන් දෙවියන් ව විශාල වශයෙන් අදහනවා. ඒ ආශ්‍රිතව තමයි අපි අපේ මේ සිංහල අවුරුදු චාරිත්‍ර සාදාගෙන තිබෙන්නේ. ඒ අතර අවුරුදු කාලයට පත්තිනි දෙවියන්ට විශාල තැනක් හිමි වෙනවා. සිංහල අවුරුදු කාලයට තමයි අපේ ගොවියන්ට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ, ගොයම් කපල, වේලලා, හාල් බවට පත් කරන්නේ මේ කාලයේදීය. ඒ පළමු හාල් මුරයෙන් මුලින්ම කරන්නේ පත්තිනි දෙවියන්ට කිරිබතක් සාදා පූජා කරන එක. දෙවනුව අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි හදන්න කොටසක් වෙන් කරන එක. මෙය අතීතයේ මිනිස්සු නොකඩවා කරගෙන ආපු දෙයක්. අලුත් අවුරුද්දට අපි හදන කැවිලි වර්ග වලින් ප්‍රධානම රස කෑම වර්ග 2ක් තමයි අතිරස හා අග්ගලා කියන්නේ, ඒ දෙකෙහිම අන්තර්ගත වන වචනයක් තමයි අත. අතින් හදලා ඉතාමත් භක්තියකින් යුතුව පත්තිනි දෙවියන් වෙත පුජා කිරීමට අපේ ඉස්සර මිනිසුන් පුරුද්දක් වී සිටියහ. එහෙම ගත් කල පත්තිනි දෙවියන් හා සිංහල හින්දු අලුත් අවුරුද්ද අතර ඇත්තේ ඉතා ළඟ සම්බන්ධකමක්.